Friday, October 14, 2016

කැළෑ සමනළී ……………..

                   පියවි ඇසින් කවදාවත්ම දැකල නැති “Thilini Shalwin” යාළුවෙක් මූනු පොතේ ශෙයා කරපු විස්තරයකුත් එක්ක මගේ  wall එක මැද්දෙ මතු වෙලා උන්නා. සිය ගානක් වැදගත් ,නොවැදගත්, මවා ගත්තු ගුරු දින සැමරුම් අගේ කිරීම් මැද නොහිතම මොහොතකට තිලිනි ශැල්වින් ලග අැස් දෙක නතර වුනා.

"කවුද මේ තිලිනි ශැල්වින්..... ?"

සැමරුම අකුරු කරපු කෙනාගෙ වචන වල තිබ්බ බර නිසාම දෙවරක් නොහිතම තිලිනි ශැල්වින්ගෙ මූනු පොත අවුස්සන්න හිතුවා.

Timeline එකේ ටිකක් පහලට යද්දි හිතුනා වරදක් වුනත් හිතට වඩා අත ඉස්සර වුන එක හොදයි කියල....

අෑ නගරයක ඉපිද සැකවින් ලෝකය දැන අෑත කොනක සැගවුනු දනව්වක නොදන්නා දරැවන්ගේ නෙත් පාදන්නියකි. එක සමාන වූ ‍සතුටකුත්, දුකකුත්,  කළකිරීමකුත් එක්ක හිත මොහොතකට නතර වුනා…….... කෙටි කාලයකට ණයට ඉල්ලා ගත් ජීවිතයකුත් සමඟ තමන්ටවත් පැහැදිලි නොවූ අවසානයක් සොයන ඉස්පාසුවක් නැති තරැණ ජීවිත අතරේ අැය අහඹුවක් නොවෙද ? ......... අපි බහුතරයක් කොතරම් නම් කුඩාද යන වග අැගේ වටකුරු මුහුණත්, සාර හිනාවත් මූනු පොතේ බිත්තිය පුරා වු අනේක විද ජීවිත සටහනුත් මැනෙවින් පසක් කර දුන්නේ‍ය. ...

භූමිය වියලී උල්පත් සිදෙනා විට, කැලෑ මල් පරවී බිම් පාළුු වන විට අතරින් පතර දාහය නිවන ඹබ වැනි තවමත් හරි හැටි නොවැඩුනු ලපටි ගස් කොතරම් නම් අඟනේද.... අනාගතයේ දිනක ඔබ අතුපතර විදහා නැගී සිටින කළක ඔබෙන් සාරවත් වූ භූමිය ඔබට අනේක වාරයක්  කෘතඥ වනවා නිසැකය.

කවදාවත් මුණ නොගැසුනු තිලිනි ශැල්වින්, නමක් නොදන්නා වු මිනිසුන්ගේ සිහින වලට පණ පොවන්න ඔබට නිරතුරු ශක්තිය දිරිය ලැබේවා. දසත දුවන්නන් අතරේ අවසන ඔබ නිසැකවම නිවැරදි නැවතුමට ලඟා වනු අැත.


No comments:

Post a Comment