Sunday, November 20, 2016


දුවේ නුඹ මගෙ ප්‍රාණයයි

සැබෑ වුණ සුබ සිහිනයයි..........

සෙනෙහස බොහෝ විට අප නොදන්නා නොහිතනා මානයන්හිදි හමුවී මුවින් වදනකුදු නොදොඩා නිහඩව සදාකාලිකවම අපි තුල ජීවත් වෙනවා....... මේ පුන්චි හිනාව ඵයා අත් දෙක තියාගෙන ඉන්න සිමෙන්ති තට්ටුව යටට පස් වුනු ඒ ආදරනීය... කරුණාවන්ත.... ශක්තිමත් ..... ජීවිතේ ගැන හාංකවිස්සියක් වත් දන්නේ නෑ..... ඒත් කාළෙකට සැරයක් පහනකුයි ඉටි පන්දමකුයි ...හදුන් කූරැයි අරගෙනන ඇවිත් වචනයක් වත් නොකියා බරට හුස්ම ගන්න එයාගෙ තාත්තාට මේ සොහොනෙ නිදන කෙනා මහ මෙරක් කියලා මේ පුන්චි කෙල්ල තරම් වෙන කවුරුවත් දන්නෙ නෑ. ඉතින් තාත්තා කෙනෙක්ට දුවෙක් තරම් හොඳ භාවනාවක් තවත් ඇති කියලා කොහොම කියනනද?...... දුවෙක්ට තාත්තා තරම් ලබැදි හිතවතෙක් කොහෙන් හොයන්නද?...

තාත්තාගෙ ඇගිල්ල අල්ලගෙන හාපුරා ලෝකෙ දකින ගැහැණු දරුවො තරම් තාත්තෙක්ගෙ ජීවිතේට එබිලා බලන්න පුළුවන් ගැහැණු චරිතයක් කවදාවත්ම හොයා ගන්න පුළුවන්ද?... හිනාවක් ගුලි වුන මුහුනෙ හැන්ගුන කඳුළු... යාන්තමට සුදු පාට වුනු රැවුල් කොට අතරෙ හයියෙන් නැවතිල්ලෙ දැනෙන කාන්සිය.... වචනයක් වත් නොකීවත් දරා ගන්න බැරි තරම් ආදරෙත් දැනෙන්නෙ දු පොඩිත්තන්ට විතරක්ම නෙවෙයිද  ?....

කිසිදාක වචන වලට නොනැගුනත් තාත්තෙකුගෙයි දුවෙකුගෙයි ආදරේ හරියට මහ පොළොව වගේ.... ඒ ආදරේ ඇතුලෙ තියන අසීමාන්තික දරා ගැනීම්.... නිහඩ ගැඹුරු හැගීම්..... අනන්ත අප‍මණ කැප කිරීම්..... රැකවරණය.... සහ කිසි දිනක වෙනත් කිසිවකුටත් වටහා ගත නොහැකි නොවෙනස් හැගීම් මිහිරි සේම එකසේ වේදනාකාරී... එය සදාකාලිකව දියණිය සහ පියානන් බැඳ තබන කිසිවකු ඇස නොගැටි කිසිදු ලෙස පළුදු නොවන රැහැනක් වැනිය......


ඉතින් දියණිය පියෙකුට පහනක් වීමත් පියාතුමෝ දියණියට සදාකාලික නැවතුමක්  වීමත් අරුමයක් වන්නේ කෙලෙසකද ?....

Wednesday, November 2, 2016

නූල්..... ඉදිකටු...... බොත්තම්.......
වලට එපිටින් ජීවිත !!! 



මුදල් ජීවිත වලට කොතරම් නම් වැදගත්ද ? මුදල් ජීවිත වලට කොතරම් නම් බලපෑම් වෙනස් කම් සිදු කරන්නේද ? මාතෘකාව කොතරම් කාලෝචිත වුනත් නිෂ්චිත පිලිතුරක් අපි කාටවත් තියනවද  ?

සටහනන තියන්න හිතට ඇගිල්ලෙන් ඇන්න කෙනාට බොහොමත්ම ස්තූති වන්ත වෙමින් ... මේ කථාබහ හිතන්න බොහෝ දේ එකතු කල නිසාත්, අපි හිතනවාට වඩා අපේ ජීවිත කොතරම් නම් සංකීර්ණදැයි නොහිතන මානයකට හිත අරං ගිය නිසාත් .... කවුරුන්ට කොහේදී හෝ කියවීමට මෙලෙස ලියා තබමි.

හිතන්න මඟ පෑදුවෙ බොහෝ කාලයකට පසු අහම්බෙන් මුණ ගැසුනු පැරණි  හිතවතෙකුගෙ නොපැහැදිලි මුහුණක්... ලෝකෙ කොටසක් මිනිසුන්  තමා ඉපදී හැදී වැඩුනු වටපිටාවෙ ජීවිතේ සොයන විට අහඹු කොටසක් ජීවිතේ හොයන්න තමන් කිසි දා අැස නොගැටි නාදුනන වටපිටා වකට පය තියනවා. ඒ අතරිනුත් විදෙස් බිම් වල තාවකාලිකව ලැගුම් ගත් වෘත්තිකයන්ගෙ ජීවිත තුල කිසි දිනෙක කිසිවකු නෙත නොගැටි බොහෝ අදුරු පැතිකඩ නිරන්තර නර්මාණය වේ. නමුදු අපි ජීවත් වෙන වටපිටාව කොතරම් කලබලකාරීද යත් වෙන කිසිවකුගේ තබා තමං දෙස වත් නැවතී බලන්න තරම් ඉස්පාසුවක් හෝ ඉඩපහසුවක් අපට නැති තරම්.

බංගලාදේශය කියන්නෙ අාසියාවෙ මැද්දක තියෙන එක් කොනකින් නුතන යෝදයෙකුටත් අනික් පසින් අතීත යෝදයෙකුටත් මැදි වුනු නොදියුනු පණඅදින රටක්. වර්ගප්‍රමාණයෙන් අපිට වඩා විශාල වූවත් ඉපැරණි විචිත්‍ර ‍‍ ‍ඉතිහාසයක් තිබුනත් අද වෙනකොට දෙමුහුන් සංස්කෘතියක් තියන, බොහෝ දුප්පත් ,නොදියුනු අාකල්ප බහුල රටක්. ලෝකේ විශාලම ඩෙල්ටාවට, දිගම කළු මුහුදු තීරයට , විශාලම කඩොලාන පද්දතියට හිමිකම් කීවත් ගංඟා ඇලදොල 700 කට නොඅඩු ප්‍රමාණයක් ගලාගෙන ගියත් බංගලාදේශය කියන්නෙ සංවර්ධනය අතින් තාමත් බොහෝ ප්‍රාථමික නොදියුනු නූගත් සිරිත් විරිත් වලින් පිරිපුන් රටක්. ගිනිය නොහැකි තරම් නාගරික ජනගහනයකුත් අදික ජල ගැලීම් සහිත කාළගුනයකුත් ... විවිදාකාර සෞඛ‍‍්‍යය ගැටළුත් සමග බැදුනු ගෘහස්ත ජීවිතය බොහෝ සෙයින් දුක්කිතයි. ළමා ශ‍්‍රමිකයන් , බාල වයස්කාර විවාහ, ගණිකා වෘත්තිය බොහෝ සුළඹ දසුනක් වන මේ රට තවත් සියවසක් බොහෝසෙමින් ගමන් කරනු අැත.

ඒ තමයි අපි දන්න නමුත් නොදුටු බංගලාදේශය. මේ කථාවේ සාරාංශය බංගලාදේශය වත් එහි මිනිස්සුවත් නොව තමන්ගේ මව් රටින්, හිතවතුන්ගෙන් බොහෝ ඈත ජීවිතේ සතුට සොයන මෙහෙ ඉන්න ලංකාවෙ අය ගැන. අපේ වෘත්තිකයන්ට (blue and white workers) මෙහෙ තියෙන පිලිගැනීම නිසාම 12000 කට නොඅඩු ප්‍රමාණයක් මේ රටේ ප්‍රධාන නගර දෙකක නිරන්තර ගැවසෙනවා. ඒ නමින් "Dhaka" සහ "Chittagong ". අඟළුම් ශේත්‍රයක් ලෙස මේ රටට කොඳුනාරටියක් තනන විට ඒ තුල සැගවුනු ලාංකිකයන් කොටසක් තමන්ගේ ජීවිත වල නොදුටු අනාගතය ශක්තිමත් කර ගන්න බොහෝ කැපකිරීම් කරනවා. පිටට පෙනෙන දිලිසෙන ජීවිත වලට එපිටින් නූල්, ඉදිකටු, බොත්තම් වලට වැසුනු අඳුරු පැතිකඩක් ඒ හැම මූණකම තියෙනවා. ඇසින් නොව හදවතින් නෙත් විවර කලොත් හිත් කොනක තුනී රීදීමකුත් සමඟ ඒ ජීවිත කොතරම් කටුක සහ වේදනාකාරීද වග ඹබ දකිනු ඇත.

අප අත්දකින ආසියානුු ආර්ථිකයත් සමඟ දැඩි මූල‍‍‍..ම ප්‍රතිලාභ මේ රැකියා තුලින් අපට ලැබුණත් බහුතරයක් තරුණ ජීවිත තමන්ගෙ හොදම කාලේ "වැඩිම මුදලකට නොදන්නා රටකට විකිනෙනවා". ඒ තමා මගේ හිතවතා සමස්ත සිදුවීම අර්ථ දැක්වු විදිහ. අපට කිසි ලෙසකින් හෝ නුපුරුදු වූ සමාජ සංස්කෘතික වටපිිටාවක් තුල හුදකලා වීම දරුණු මානසික කේදවාචකයක් නොවන්නේ කෙලෙසද? එබැවින්ම මෙහි ජීවන රටාව තුල ගොඩනැගෙන අදුරු සමාජ හැසිරීම් අතිශය සාදාරන වේ. සංස්කෘතිමය සීමා මායිම් තුල ඔවුන් විප්ලව වාදීන් මුත් ඹවුන්ද බොහෝ සෙයින් අහිංසක ජීවින්‍. සතියට දින 6.. අවමය දිනකට පැය 10... වැඩ කරන පරිඝණකයකට කොටුවුනුූ ,Viber, WhatsApp, Skype, FB .......... වලට අන්තර් සමාජ සම්බන්දතා සීමාවුනු තරුණ ජීවිත තමා හා බැදි අනෙකුත් ලබැඳි ජීවිත තවල හිත සුව පිනිස තමන්ගේ වර්ථමාණය නොදන්නා බිමක මවා ගත් සංයමයක් තුල කොටුු කිරීම වීර ක්‍රියාවක නොවන්නේ කෙසේද?

ඔවුන් තව දුරටත් කිසිවකුටත් අයිති නොවන හුඳකලා මිනිසුන්‍...අපි පිලිගැනීමට මැලි වුවද එය සරළ යථාර්තය වේ. මුදල් , කාළය, වගකීම් සහ නොසිදෙන බලාපොරොත්තු සියළු මානව හැගීම් යටපත් කොට අතු විදහා පැතිරී ගොස් අවසානය.....


නමුදු...... මන්දුලී නිතර මතුරන්නා සේ "කාගෙ උනත් කොහොම උනත් ජීවිතයක් නෙ...." වග කෙසේ නම් අමතක කරන්නද........

Thursday, October 27, 2016

අාදරනීය ආච්චි අම්මි.....

නික්ම ගොසින් 17 වසරක්... අද ඊයේ වගේ... තාමත් බොහෝ දිගු රාත්‍රී වල දෑස තදින් පියා සිටිමි ඔබ දකිනු රිසින්...අැසිපිය සලමි සැකවින් කදුලක් නොවැටනු රිසින්... October  හිත බොහෝ නිසරු කරනවා... මේ සැරේ මට එන්න වෙන්නෙ නෑ ඔයා බලන්න.... අව්‍රුරුද්දක අාගිය විස්තර  කියලා යන්න... ඒත්  'සාදා' එයි නොවරදවාම ඔයාව බලන්න වෙනදා වගේම...
ඔයාගෙ දරුවන්ගෙ දෙවෙනි පරම්පරාව අපි...හැමෝම එකතු වෙන ගෙදර පැත්තකට වෙලා ඉඳගත්තම අපිි තදින් අත් දකිනවා ඔයා පණ පොවපු අපෙයි අනික් පොඩි උන්ගෙයි වෙනස...උන්ට ඒ තරම් වගක් නෑ අයිනකට වෙලා බලන් ඉන්න ඔයා ගැන.. ඒත් අපිට නම් පාළුයි....

අපිට පොඩි තරුවක් ඉන්නවා...ඔයාගෙ තුන්වෙනි පරම්පරාව.... අනේ ඔයා හිටියා නම්.....  ඔයාගේ දරුවො දැන් ලොකුයි.... දරුවන්ගෙ දරුවනුත් ලොකුයි... ඒත් ඒ හැමෝටම අඩු වැඩි විදිහට ඔයා නැතිව පාළු අැති... වචනෙන් නොකීවත් "අම්මා" මහමෙරක්....  ඒනිසා මට වගේම ඒ හැමෝටම මතක් වෙද්දි හිත බරට දැනෙනවා අැති.. ලොකූ හුස්මක් ගන්නවා ඇති... නොපෙනෙන්න කඳුළුත් සගවන ගමන් අනේ හිටියානම් කියලා හිතනවා ඇති....
ආදරනීය ආච්චි අම්මි එක පාරක් ඇවිත් යන්න පුළුවන් නම් කොයි තරම් දෙයක්ද....



The worst type of crying is the silent one. The one when everyone is in sleep. The one where you feel it in your throat. And your eyes become blurry from the tears. The one where you just want to scream. The one where you have to hold your breath and grab your stomach to keep quiet. The one where you can’t breathe anymore. The one when you realize the person that meant the most to you, is gone….

Friday, October 14, 2016

කැළෑ සමනළී ……………..

                   පියවි ඇසින් කවදාවත්ම දැකල නැති “Thilini Shalwin” යාළුවෙක් මූනු පොතේ ශෙයා කරපු විස්තරයකුත් එක්ක මගේ  wall එක මැද්දෙ මතු වෙලා උන්නා. සිය ගානක් වැදගත් ,නොවැදගත්, මවා ගත්තු ගුරු දින සැමරුම් අගේ කිරීම් මැද… නොහිතම මොහොතකට තිලිනි ශැල්වින් ලග අැස් දෙක නතර වුනා.

"කවුද මේ තිලිනි ශැල්වින්..... ?"

සැමරුම අකුරු කරපු කෙනාගෙ වචන වල තිබ්බ බර නිසාම දෙවරක් නොහිතම තිලිනි ශැල්වින්ගෙ මූනු පොත අවුස්සන්න හිතුවා.

Timeline එකේ ටිකක් පහලට යද්දි හිතුනා වරදක් වුනත් හිතට වඩා අත ඉස්සර වුන එක හොදයි කියල....

අෑ නගරයක ඉපිද සැකවින් ලෝකය දැන අෑත කොනක සැගවුනු දනව්වක නොදන්නා දරැවන්ගේ නෙත් පාදන්නියකි. එක සමාන වූ ‍සතුටකුත්, දුකකුත්,  කළකිරීමකුත් එක්ක හිත මොහොතකට නතර වුනා…….... කෙටි කාලයකට ණයට ඉල්ලා ගත් ජීවිතයකුත් සමඟ තමන්ටවත් පැහැදිලි නොවූ අවසානයක් සොයන ඉස්පාසුවක් නැති තරැණ ජීවිත අතරේ අැය අහඹුවක් නොවෙද ? ......... අපි බහුතරයක් කොතරම් නම් කුඩාද යන වග අැගේ වටකුරු මුහුණත්, සාර හිනාවත් ,  මූනු පොතේ බිත්තිය පුරා වු අනේක විද ජීවිත සටහනුත් මැනෙවින් පසක් කර දුන්නේ‍ය. ...

භූමිය වියලී උල්පත් සිදෙනා විට, කැලෑ මල් පරවී බිම් පාළුු වන විට අතරින් පතර දාහය නිවන ඹබ වැනි තවමත් හරි හැටි නොවැඩුනු ලපටි ගස් කොතරම් නම් අඟනේද.... අනාගතයේ දිනක ඔබ අතුපතර විදහා නැගී සිටින කළක ඔබෙන් සාරවත් වූ භූමිය ඔබට අනේක වාරයක්  කෘතඥ වනවා නිසැකය.

කවදාවත් මුණ නොගැසුනු තිලිනි ශැල්වින්, නමක් නොදන්නා වු මිනිසුන්ගේ සිහින වලට පණ පොවන්න ඔබට නිරතුරු ශක්තිය දිරිය ලැබේවා. දසත දුවන්නන් අතරේ අවසන ඔබ නිසැකවම නිවැරදි නැවතුමට ලඟා වනු අැත.