මොණර නෙත් ඇති
වසිලිස්සා......
ගෙවුනු මාසයක පමණ කාලයේ මගේ මුහුණු පොතේ
වැඩිමනක් උඩ පහල ගිය මාතෘකාව වූයේ ස්වර්ණාය... ඈ පිලිබඳ බොහෝ දෑ බොහෝ
පිරිස් විසින් ලියා තිබුනාය. ඒ සියළු වියමන් එකි නෙකට වෙනස් පුද්ගලයන් ගෙන් වුවද
අවසානයේ එකම ගැහැණිය එකම ලෙසකට විග්‍රහ කර තිබිනි. ඒ සියළු වියමන් ඉතා ප්‍රසන්නය....
ඈ පිලිබඳ අතිශයෝක්තියක් කිසි විටකවත් හමු නොවුනි. මේ සටහන තබන්නට මට සිතුනේ
එනිසාය...
ඇගේ මතකය මා පළමුව රැගෙන යන්නේ මගේ කුඩා
කාළයට.... තවමත් සුරැකිව ඇති ..... කිසිවකුත් සමගින් බෙදා හදා ගන්නට තවමත් ලෝබ
කම අත නොහැරුනු මගේ කුඩා කල වස්තූන් සැගවුනු මාරි පෙට්ටියේ කොනක ඇය ද සිටී.
පලමු වතාවට ඈ මා මතකයේ රැදෙනුයේ සිනමා තාරකාවක් ලෙස නොව බෙහෙවින් වෙනස් වූ රූ
සපුවකින් සපිරි ගැහැණු රුවක් ලෙසටය. ඒ අදඳ මා සතුව බොහොම සුරැකිව ඇති එදවස මගේ
මවගේ කුඩා නැගනිය සතු වූ ජනප්‍රිය සුවද සබන් වර්ගයක කුඩා අත් පත්‍රිකාවකිනි. මතකය
නිවැරදි නම් එය... ස්වේත වර්ණ ඇගළුමකින් සැරසිි විදාහල කෙස් කලඹකින් යුතු ඇගේ රුව සහිත ... කොනකට වන්න ලා රෝස
පැහැති කුඩා රෝස මල් දෙකකුත්, ඇගේ අත්සනත්,
සබන් කැටයේ කුඩා ඡායා
රූපයකුත් ඇතුලු වූ post card ප්‍රමාණයේ කුඩා අත් පත්‍රිකාවකි.
එදවස බොහෝ කුඩා කෙල්ලක් වූ මට , ඈ මා බෙහෙවින් ආදරය කල
ලස්සන වසිලිස්සාගේ මවා ගත් රූපයට සමාන විය. දිගු බෙල්ල, මොණර ඇස්, උස් සිහින්
සිරැර, දිගැටි මුහුණ සහ කළු
පැහැති දිගු වරලස පොතෙහි උන් පැන්සලින් ඇදි වසිලිස්සාගේ රුවට කදිමට ගැලපුනි.
ඉනිදු වසර 10 කට පමණ පසු පලමු වතාවට
"හන්තානේ කතාව" බලන විට මගේ වසිලිස්සා රූප පෙට්ටියේ දැකීම මට මහත්
විස්මය ගෙන දුන් කරුණක් විය.
පෙර පිනකට අන්තර්ජාලය, video game, ජංගම දුරකථන නොතිබු
මගේ ළමා කාලයේ අඳ මෙන් සිනමා තාරකා ගැන මනා වැටහීමක් අපට නොතිබුනි. නමුදු
දැනුම් තේරුම් ඇති දා පටන් ලස්සන වසිලිස්සාගේ රංගනයට මා බොහෝ ප්‍රිය විය. ඈ
රඟ පෑ බහුතරයක් භූමිකා මට හරි හැටි නොවැටහුනද ඇගේ සාත්වික වාචික අභිනයන් මා බෙහෙවින්
ප්‍රිය කලහ.
ඈ රඟ පෑ එකදු චිත්‍රපටියක් වත් මා සිනමා
ශාලාවකට ගොස් නරඹා නැත. නොඑසේ නම් අපේ කාලය තුල ඈ රඟ පෑ සිනමා සිත්තම් චිත්‍රපටි
ශාලා තුලට පැමිණ නැත. කලකට පසු ඈ රඟ පෑ
"ඇගේ ඇස අඟ" ප්‍රදර්්ශණය වන විට මා ලංකාවෙන් බැහැරව ගොසිනි. එකී නොකී
දහසක් කාරණා සමඟ හේතුවකට හෝ අහේතුවකට මා ඈ දකින්නේ රූප පෙට්ටියෙන් හෝ you tube තුලින් පමණි. කලාකරුවාද, රසිකයාද, රසවින්දනයද
පැටලිලි සහගත වී ඇති යුගයක ඈ වැන්නවුන්ගේ මතක ඇවිස්සීම එක සමාන තෘප්තියකුත් අතෘප්තියකුත් ඇති කරවයි.
මා නැරඹු ඇගේ චිත්‍රපටි අතර මා බෙහෙවින් ප්‍රිය
කරන දඩයම, අනන්ත රාත්‍රිය, බව දුක, චන්න කින්නරී, හන්ස විලක් සහ යහළු යෙහෙලි හි ඈ රඟ පෑ චරිතද, හිමින් සැරේ පියා විඳා ගීතයද, රූප රාමුද, සංගීතයද
සඳාකාලිකව මතකයේ රැදෙනු ඇත. ඇගේ රංගන භූමිකා බෙහෙවින් තාත්විකය. මවා ගත් සීනි
බෝල ගැහැණු චරිතයන්ගෙන් ඔබ්බට ගිය ඇගේ කර්කෂ රංගනය... දෙනෙතට, දෙසවනට සේම මනසටද අස්වැසුමක් මය.. ඇගේ නිරවුල් තියුනු
කටහඩ, පැහැදිලි වචන උච්චාරනය
සහ නිදහස් විකල් දොංකාර නගන සිනහව ඇගේ චරිත වඩා ත්‍රීර ලෙස හුවා දැක්වීමට
බෙහෙවින් ඉවහල් වූවා යැයි මට සිතේ.
වැඩිපුර එළිපෙහෙලියේ නොදකින, කිසි විටකත් තරු හෝ තමා විසින්ම තරුවක්
යැයි ලේබල් ගසා ගත් විකාර රූපී අප්පිරියා සහගත ප්‍රසංග වේදිකා වලට ගොඩ නොබසින
ඈ තම වෘත්තීය ගෞරවය ආරක්‍ෂා කරමින් ගරුුකටයුතු දිවියක් ගෙවන ආඩම්බර ගැහැණියකි. එය මෑත කාලීන සිනමාව
තුල ඈ වැඩිපුර නෙත නොගැටුනද ඈ පිලිබඳ වු ඇල්ම නොනැසී පැවතීමට තුඩුදුන් තවත් එක්
ප්‍රබල කාරණාවකි. මෑත කාලීන කලාකරුවා යන දුප්පත්, පුද්ගල චරිතය, දේශපාලන වාසි, මුදල්, තනතුරු පසුපස
අතකොළුවක් නොවූ ඈ සැබැවින්ම තමා ජීවත් වන වටපිටා වට ණය නැතිි කලා චරිතයකි.
වෙසෙසින් දකිත හොත් සිනමාව තුල ගොඩ නැගුනුු නමුදු යථාර්තයේදී නිලියක් නොවුනුු
චරිතයකි.
ඈ සතු වු ආසියාතික සහ බටහිර මිශ්‍ර වූ
ගැහැණු ලස්සනත්, නිතර දෙවෙලෙ ඈ ගත
වැසුනු සරළ අත් යන්ත්‍ර සාරියත්,
වැඩි දිස්න
නොදුන් ආභරනත් ඇයට අපුරු අනන්‍යතාවක්
ගොඩනැගුවාය. එනිසාම එදා සිට අද දක්වාම සවර්ණා තුල අපි දකින්නේ එකම ගැහැණියකි.
වෙනසකට ඇත්තේ කාලයත් සමග වියපත් වුනු ඇගේ මුහුණේ මතුවන වියපත් නොවු ජීවිත
අවබෝධයේ ගැඹුරු බැල්ම පමණි. එයද දින දින පරිපුර්ණ වේ. එනිසාම ඇය විටෙක
හිතුවක්කාරියක ලෙස හංවඩු ගැසූවද සැබෑවටම සංයමයකින් යුතු ජීවිතයේ දිග පලළ ගැන සැබෑ
අවබෝධයක් ඇති තමා විසින් තමා හට ශක්තිමත් පැවැත්මක් ගොඩ නගා ගත් නිවුනු
හිතුවක්කාරියෙකි.
ඇගේ වෘත්තියට 50 විය සපුරණ මේ මොහොතේ
මා ඈ සිහිපත් කරන්නේ ආදරයෙනි. ඇගේ අනුස්මරණ සිනමා උළෙලේ එකදු චිත්‍ර පටියක් වත්
නැරඹීමට නොලැබුනු දුකිනි. මගේ ලස්සන වසිලිස්සා ඔබට නිදුක් නිරෝගී
සුව පතමි. කාලය සමග තුරුණු රූපය වියපත් වූවද.... මට නම් ඇගේ මොණර නෙත් තවමත්
එලෙසමය…… දැනුදු ඒවා
කදිමට සංවාදයේ යෙදෙති....

No comments:
Post a Comment